'කිසිවකු යුධ අධිකරණයට ගෙන යාමට ඉඩදෙන්නේ නැහැ' - මංගල

ලබන මස එළිදැක්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ යුද අපරාධ පරීක්ෂණ වාර්තාවට මුහුණ දීම සඳහා විශ්වසනීය අභ්‍යන්තර පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ මූලධර්මය යටතේ මේ වන විට සාකච්ඡා සිදුකරමින්
සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියි.
'බිබිසි සංදේශය' සමග පැවති  සාකච්ජාවකදී ඔහු එබව සඳහන් කළේය.
යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකු ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාමට ශ්‍රී ලංකාව ඉඩ නොතබන බවද අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී පැවසුහ.
යුද අපරාධ පරීක්ෂණයක් ඉල්ලමින් යෝජනාව ඉදිරිපත් කළ රටවල් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පැවසූ අමාත්‍යවරයා, දේශීය පරීක්ෂණයකට ඔවුන්ගේ සහාය ඉල්ලා සිටි බවත් සඳහන් කළේය.
ප්‍රායෝගික විදේශ ප්‍රතිපත්තියක් තිබේ නම් බටහිර ලෝකයට පිටුපෑමට නොහැකි බව පැවසූ අමාත්‍ය සමරවීර මහතා, වර්තමාන රජය ඉන්දියාවට ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එල්ල වෙන චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
ඉන්දියාව සමග මෙන්ම චීනය සමගද සම්බන්ධතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ඔහු පැවසුවේය.
මාර්තු මාසයේ චීනයේ සංචාරයක නියැලීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.