ජනපති මැතිසබේ : ආ බවවත් නොදැනේ

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු පුරප්පාඩුවූ පොළොන්නරු දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී ධූරය සඳහා නම් කර තිබූ ජයසිංහ බණ්ඩාර මහතා
දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තුවට නොපැමිණියේය.
පාර්ලිමේන්තුව පස්වරු 1ට ආරම්භවීමෙන් පසු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නිවේදන යටතේ අභිනව මන්ත්‍රින්ගේ ප්‍රතිඥාව සඳහා ඇරයුම් කළද එම මන්ත්‍රීවරයා පැමිණ නොසිටියේය.
 පස්වරු 1.04 ට මෛත්‍රිපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුවට පැමිණියේය. දෙපැත්තේම මන්ත්‍රීවරු ඔහු අත්පොලසන් දී පිළිගත්හ. ජනපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයට සවන් දුන්නේය. මිනිත්තු 10කින් පමණ ඒ ප්‍රකාශය අවසන් විය. ඉන්පසු මන්ත්‍රීවරුනට දෑත් එක්කොට ආචාරකොට පිටව ගියේය.
වෙනදා මෙන් ආරක්ෂකයන් සිය ගණනක් අද පැමිණියේ නැත. දියවන්නා ගුවන් ගැබේ ගුවන් හමුදා හෙලිකොප්ටර කැරකුණේද නැත. දියවන්නා ඔයේ සන්නද්ධ බෝට්ටු සංචාරය කළේද නැත. කැසිකිළි රථ ඇතුළු පරිවාර රිය පෙළද පැමිණියේ නැත.