හිරුණිකාට ඇමතිකමක් ?

උදය ගම්මන්පිල  ඉල්ලා අස්වීම නිසා බස්නාහිර පළාත් සභාවේ පුරප්පාඩුව පවතින අමාත්‍ය ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට ලබා දෙන ලෙස
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉල්ලීමක් ලැබී ඇතැයි වාර්තා වේ.
මේ ඉල්ලීම කර ඇත්තේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් බවද පැවසේ.
ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට යාම නිසා  ගම්මන් පිල පළාත්අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.
ඉන් පසුව යළිත් මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට එක්වූවත් අමාත්‍ය ධුරය ඔහු භාර නොගත්තේය.
එසේ පුරප්පාඩුව ඇති අමාත්‍ය ධුරයේ වැඩ බැලීම ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සිදුකරනු ලබයි.
මෙම අමාත්‍ය ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි, සුනිල් ජයමිණි, හෙක්ටර් බෙත්මගේ මෙන්ම මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සිසිර ජයකොඩි, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන රොජර් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන්ගේ නම්ද යොජනා වී ඇති බවද මේ අතර වාර්තා වේ.
කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් වන විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල හා යූ. ජෝර්ජ් පෙරේරා සහ කිත්සිරි කහටපිටිය යන තිදෙනාගෙන් එක් අයෙකුට මෙම අමාත්‍ය ධුරය ලබාදිය යුතු යැයි විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ අදහස වී අතැයි පැවසේ.
කෙසේවුවද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ අමාත්‍ය ධූරය   එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයකුට හැර කිසිවකුට ලබාදීමට එකඟතාවක් නොමැති බවද වාර්තා වේ.