‘පෝට් සිටි' ව්‍යාපෘතියට අනුමැතියක් දී නැහැ

චීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි' හෙවත් ‘වරාය නගරය' සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට්
අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කලද එහි කිසිඳු සත්‍යයක් නොමැති බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.
පාරිසරික තත්ත්ව සහතික වාර්තා සැලකිල්ලට ගනිමින් ‘පෝට් සිටි' ව්‍යාපෘතියට අනුමැතිය දෙන්නේ ද ? නැද්ද ? යන්න තීරණය කරන බව ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
කෙසේවුවද, රාජිත සේනාරත්න මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාරිසරික තත්ත්ව සහතික වාර්තා පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමේදී අගමැති කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ, රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයා අද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.