කුඩු රජා එක්ක ගනුදෙනු කළේ දුමින්ද සිල්වා


කුඩු ජාවාරම්කරුවකු වන "වෙලේ සුදා" නමැත්තා විසින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමදුර රොමෙලේ දුමින්ද සිල්වාට මත්කුඩු ජාවාරමෙන් උපයන මුදල් ලබාදී ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී
තිබේ. ඔහුට රටින් පිටවීමද තහනම් කොට ඇත. දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා පසුගිය දිනක අතුරුගිරිය ප්‍රදේශයේදී මියගිය ලාලිත කෞශල්‍ය හෙවත් කුඩු ලාල් නමැත්තාගෙන්ද මුදල් ලබාගත් බව අනාවරණය වී ඇතැයි ඊයේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.
ඒ අනුව රහස් පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු ඉදිරිපත් කරමින් අදාළ මන්ත්‍රිවරයා ඇතුළු නම් තුනකින් හෙළිවී ඇති බැංකු ගිණුම් 82ක් පරීක්ෂා කිරීමට අවසරය ලබා ගෙන තිබේ.
ඒ අනුව දේශීය හා වාණිජ බැංකු 34කින් සහ මූල්‍ය ආයතන 48ක ගිණුම් රහස් පොලිසිය විසින් පරීක්ෂා කරනු ඇත.
වසර කීපයකට පෙර මිය ගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන නඩුවට අදාළව දැනටමත් දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ ඇති බවත් ඔහුට දැනටමත් විදේශගත නොවීමේ නියෝගයක් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ඒ පිළිබඳ රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ආගමන විගමන පාලකවරයාට යළි ලිපියක් යවමින් ඔහු දුමින්ද සිල්වා නමින් හැරෙන්නට වෙනත් නමකින් විදේශගතවීමේ උත්සාහ දැරුවහොත් ඒ පිළිබඳ රහස් පොලිසියට දන්වන ලෙසද දැනුම් දී තිබේ.
"වෙලේ සුදා" අදාළ මන්ත්‍රිවරයාට මුදල් ලබාදීම් සිදු කර ඇත්තේ ලංකාවේ තරු පහේ හෝටලයක් අසලදී සහ යම් යම් පුද්ගලයන් හරහා මෙන්ම ගිණුම් හරහා බවද අනාවරණය වී තිබේ.



 
එම මුදල් ගනුදෙනු සිදුවුණු හෝටලය අසල පිහිටි සී.සී.ටී.වී. කැමරා දර්ශන රහස් පොලිසිය විසින් අධීක්ෂණය කරගෙන යන බවද මෙහිදී හෙළි විය.
ඔහු මුදල් ලබාගත් අන්දම පිළිබඳ ක්‍රමවේදයන් රහස් පොලිසිය විසින් විවෘත කරගනිමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මේ අතර "වෙලේ සුදා"ගේ කුඩු සල්ලිවලින් මිලදී ගත් රුපියල් හැටපන්ලක්ෂයක් වටිනා මෝටර් රථයක් පෙරේදා මාදිවෙල ප්‍රදේශයේ පිහිටි "වෙලේ සුදාගේ" පෞද්ගලික නිවෙසක සඟවා තිබී රහස් පොලිසිය විසින් සොයාගන්නා ලදී. ගම්පොළ විතානලාගේ සමන්ත කුමාර නමින්ද, මාතාගොඩ කංකනමලාගේ සමන්ත ප්‍රදීප් නමින් සහ විලේසිංහ ආරච්චිගේ සුනිමල් සංජීව යන නම්වලින් බැංකු ගිණුම් තුනක් විවෘත කර ඇති බව අනාවරණය වී ඇති අතර අදාළ මන්ත්‍රිවරයාගේ සහ වෙලේ සුදාගේ විදේශ ගිණුම් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බුද්ධි විමර්ශන අංශයේ සහාය මත එම පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසිය තීරණය කොට තිබේ.

මේ පරීක්ෂණය එවරස්ට් කන්ද තරණය කිරීමක් වැනි යැයි සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බොහෝ ජාවාරම්, මූල්‍ය ගනුදෙනු ඉතා සූක්ෂ්මව වැසෙන ආකාරයෙන් ක්‍රියාත්මක කර තිබීම නිසා ඒ පිළිබඳ සූක්ෂ්මව පරීක්ෂණ ඉදිරියට ගෙනයා යුතුව ඇති බවද පැවැසීය.