දෙමළ රැඳවියන් ‘වසරක් ඇතුළත නිදහස්’

නඩු පැවරීමක් නොකර බන්ධනාගාරවල සහ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නිදහස් කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා
එකඟත්වය පළ කළ බව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ පවසති.


පසුගිය විසිපස් වනදා කොළඹ පැවති හමුවකදී ජනාධිපතිවරයා එම පොරොන්දුව දුන් බවයි, රදගුරු හිමියන් පවසන්නේ.
බොහෝ දෙනෙකු ඉල්ලා සිටින පරිදි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස මාස තුනකින් නිදහස් කිරීම අසීරු බැවින් වසරක් ඇතුළත ඔවුන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රදගුරු හිමිපාණෝ සඳහන් කළහ.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සිරකරුවන්ට අවස්ථා දෙකකදී පොදු සමාවක් ලබා දුන් ආකාරයට දෙමළ දේශපාලන සිරකරුවන්ටද පොදු සමාවක් ලබා දෙන මෙන් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් මන්නාරම රදගුරු හිමිපාණෝ පැවසූහ.
පන්සීයකට ආසන්න දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් දිවයින පුරා පිහිටි බන්ධනාගාර සහ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින බව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ වැඩිදුරටත් කියා සිටියහ.