කඩඉම ජය ගන්න බලාපොරොත්තු වෙනවා - මහේල

පසුගිය ලෝක කුසලාන තරගාවලි දෙක ජයගැනීමට අපොහොසත් වුවත්, එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී කඩඉම ජය ගැනීමට බලාපොරොත්තු වන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල
ජයවර්ධන පවසයි.
ලෝක කුසලානය ජයගැනීමට නොහැකි වුවත්, කාලයක් පුරාවටම හොඳින් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වූ බව, මෙලෙස දෙවරක් ලෝක කුසලාන අවසන් තරගයට පැමිණීමට සමත්වීම මගින් පිළිඹිබු වන බව හෙතෙම පවසා සිටියි.
ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ටම ක්‍රීඩකයන් දෙපල වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර සහභාගී වන අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වේ.
මෙම තරගාලියෙන් පසුව දෙදෙනාම එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට නියමිතය.
පසුගිය ලෝක කුසලාන තරගාවලි දෙකේදී අවසන් තරග වලට සුදුසුකම් ලැබුවද එම තරග දෙකේදීම ශ්‍රී ලංකාවට පරාජය අත්විය.
මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුක්තව 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 53ක පරාජයක් ලැබූ අතර, ඉන් සිවුවසරකට පසුව සංගක්කාර ගේ නායකත්වය යටතේ ඉන්දියාවට එරෙහිව ලෝක කුසලාන අවසන් තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාව කඩුළු 6ක පරාජයක් ලැබීය.