මහින්ද ශ්‍රීලනිප අනුශාසක ධුරයෙන් ඉවතට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරණ දින රාත්‍රීයේ තවදුරටත් බලය රඳවා ගැනීමට කුමන්ත්‍රණයක් කල බවට පිළිගත හැකි සාක්ෂි ලැබුනහොත්, ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධුරයෙන් ඉවත්
කිරීමට එම පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි 
වාර්තාවේ.
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා 'ලංකා ඩේලි' වෙබ් අඩවිය සමග කල සම්මුඛ සාකච්ජාවක දී පවසා ඇත්තේ,  හිටපු ජනාධිපතිවරයාට දැන් මුක්තියක්  නැති බවයි. ජනාධිපතිවරණය දින රාත්‍රී අරලිය ගහ මන්දිරයේ යම් කුමන්ත‍්‍රණයක් සිදුව තිබේනම්,  ඔහුව අධිකරණය හමුවට ගෙනියන බවද ඇමතිවරයා අවධාරණය කර ඇත.
 '' එදා එතන හිටපු සියලූ දෙනාට විරුද්ධව පියවර ගන්නවා. මහින්ද රාජපක්ෂත් එතන ඉදලා තියෙනවා. දැන් ජනාධිපතිවරයාගේ මුක්තිය අවසන්. 35 වගන්තිය යටතේ තිබ්බ රැකවරණය දැන් නෑ. වරදි කරලා තියෙනවනම් ඔහුවත් අනිවාර්යෙන්ම නීතිය හමුවට ගේනවා. යහ පාලනය සදහා රටකට මුලින්ම නීතියක් අවශ්‍යයි.'' යයි ද ඇමතිවරයා පවසා ඇත.
කෙසේවුවද, ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට පත්ව එකී ධුර කාලය අවසන් කල ශ්‍රීලනිප සාමාජිකයකු නිල බලයෙන් අනුශාසක ධුරයට පත්වේ.
ඒ අනුව මේවනවිට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය මෙන්ම, මහින්ද රාජපක්ෂ මහතා ද ශ්‍රීලනිප අනුශාසකවරුන් වේ.


www.srilankamirror.com