අපේ යාළුවො වුණේ එපාම කරපු රටවල් - වියන්ගොඩ

පසුගිය වකවානුවේ දී ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත් වූයේ ලෝකයේ අපවාදයට සහ අපචාරයට ලක් වූ රටවල් බව දේශපාලන විශ්ලේෂක
ගාමිණී වියන්ගොඩ පවසයි.
රුසියාව සහ චීනය උදාහරණ වශයෙන් ගෙන හැර දක්වමින් ඔහු කියා සිටියේ එවැනි රටවල මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවයි.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙමින් ගාමිණී වියන්ගොඩ, බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවක යෙදුණේ විදේශ ඇමතිවරයා ඉන්දියාවේ සංචාරයක යෙදී සිටියදී.

'එපාම කරපු රටවල්'

‘අපේ යාළුවො බවට පත් වුනේ ලෝකයේ එපාම කරපු රටවල්. මානව හිමිකම් අතින්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් අතින්, ශිෂ්ඨ සම්පන්න පාලන ක්‍රම අතින් ලෝකයාගේ අපවාදයට අපචාරයට ලක් වුනු රටවල්. දැන් රුසියාව ගත්තොත් පුටින් ජනාධිපතිවරයා ව්‍යවස්ථාපිත සීමාවන් නිසා බලයෙන් එලියට ගොස් එය වෙනස් කර ගෙන නැවත බලයට පැමිණි කෙනෙක්. චීනය කියන්නෙත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන පරමාදර්ශී රටක් නෙමෙයි.’ ගාමිණී වියන්ගොඩ පවසයි.
ඓතිහාසිකව ගත් කළ ශ්‍රී ලංකාව වැඩි සබඳතා පවත්වා ඇත්තේ අසල්වැසි ඉන්දියාව සමඟ බවයි ඔහු පවසන්නේ.
ඔහු මෙම අදහස් පළ කරන්නේ ශ්‍රී ලංකාවේ කර ගෙන යන චීන ව්‍යාපෘති නැවත විමර්ශනයට ලක් කළ යුතු බව නව රජය නිවේදනය කර තිබියදී.

විදේශ ඇමති මංගල සමරවීර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ

මේ අනුව චීන ව්‍යාපෘතියක් වන උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත් හිටු වන බව ප්‍රකාශයට පත් විය.
කොළඹ වරාය ආශ්‍රිතව ඉදි වන ‘පොර්ට් සිටි’ නමින් හැඳින්වෙන චීන ව්‍යාපෘතිය ද යළි විමර්ශනය කරනු ඇති බවට ද පසුගිය දා වාර්තා පළ වී තිබුණි.

චීන විශ්වාසය

චීන සබඳතා පීඩාවට ලක් වන වාතාවරණයක් පවතින අතරතුර චීන විදේශ අමාත්‍යංශය කියා සිටියේ චීන ශ්‍රී ලංකා සබඳතා ඉදිරියටත් සුවදායක සහ ස්ථාවර වර්ධනයක් කරා යොමු වනු ඇති බවට චීනය විශ්වාස කරන බවයි.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙතකට යා යුතු බවත් එක් පාර්ශවයකට ගැති නොවී එහි තුළනයක් තිබිය යුතු බවත් දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ පවසයි.
එවැනි ස්ථාවරයක් පවත්වා ගෙන යන තුරු කිසිදු රටක් ශ්‍රී ලංකාව සමඟ අමනාප නොවන බවයි ඔහු පවසන්නේ
www.bbc.com