ශී‍්‍ර ලංකාවට එරෙහිව තවත් ඇමරිකානු යෝජනාවක් !

ශී‍්‍ර ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අමෙරිකාව සූදානම් වේ.
ලබන මාර්තු මාසයේ ජිනිවා නුවර පැවැත්වෙන සැසියේදී මෙම
යෝජනාව සභාගත කිරීමට ඔවුන් අපේක්‍ෂා කරයි.
අදාළ යෝජනාව මීට පෙර 2012 සහ 2013 යන වසරවලදී ඉදිරිපත් කෙරුණු යෝජනාවලම දිගුවක් වේ.
ප‍්‍රතිසංධාන වැඩපිළිවෙල සදහා දැනට වඩා වැඩි ප‍්‍රමුඛතාවක් ලබාදෙන ලෙසද, නැවත සිවිල් ගැටුමක් ඇතිවීම වැළැක්වීම සදහා යුක්තිය සහ වගවීම තහවුරු කරන ලෙසද එමගින් ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටින බව  අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
නිශා බිෂ්වාල් අද ශී‍්‍ර ලංකාවට :අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අද දිවයිනට
මේ අතර අදාළ යෝජනාව සදහා කරුණු රැස්කර ගැනීම සහ මූලික අධ්‍යයනයන් සදහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිෂ්වාල් මහත්මිය අද ශී‍්‍ර ලංකාවට පැමිණේ.
මෙම සංචාරයේදී නිශා බිෂ්වාල් මහත්මිය ශී‍්‍ර ලංකාවේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය. කොළඹදී කෙරෙන මුල් වටයේ සාකච්ඡාවලින් පසු ඇය යාපනයේද සංචාරය කිරීමට නියමිතව තිබේ.
 ශී‍්‍ර ලංකාවේ සංචාරයෙන් අනතුරුව ලබන මස 3 වනදා නිශා බිෂ්වාල් මහත්මිය බි‍්‍රතාන්‍ය බලා පිටත්ව යනු ඇත.
ශී‍්‍ර ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන සිය යෝජනාව සම්බන්ධයෙන් එහිදී බි‍්‍රතාන්‍ය ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට ඇය අපේක්‍ෂා කරයි.
 පසුව ජිනීවා නුවරට ගොස් ඒ සම්බන්ධයෙන් තවත් සාකච්ඡා කිහිපයකට සහභාගිවීමට  නිෂා බිෂ්වාල් මහත්මිය සැලසුම් කර ඇතැයි  ද වාර්තාවේ.
www.srilankamirror.com