යෝෂිත නේවිඑකට ගිය හැටි සොයන්න යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගත් ක්‍රමවේදය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ අද (26)
ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතාට පැමිණිලි කිරීමට නියමිතය.
ජවිපෙ බස්නාහිර පළාත් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ යෝෂිත එංගලන්තයේ ඩාර්ක්මන් රෝයල් ඇකඩමියේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසාගත් ආකාරය සම්බන්ධයෙන්ද සොයන ලෙස අදාල පැමිණිල්ලෙන් ඉල්ලන බවයි.
යෝෂිත රාජපක්ෂ රජයේ ආරක්ෂක නිලධාරියකු ලෙස හිඳිමින් රජයේ කටයුතු වලට හවුල්වූයේ කෙසේ ද යන්න පිළිබඳවද එම පරීක්ෂණයට ඇතුලත්විය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සිය බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේදී ඊයේ (25) පෙරවරුවේදී පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙම මාධ්‍ය හමුවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි කොළඹ මහ නගර සභා මන්ත්‍රී හේමන්ත වීරකෝන් යන මහත්වරු ද සහභාගි වූහ.