''නිළියෝ කැත වෙන්නේ මේකප් නිසා''

අයෝමි ශානිකා එහෙමත් නැත්නම් අප ආදරණීය සුදු නංගි දැන් ආයුර්වේද වෛද්‍යවරියක් කියන එක අලුත් ආරංචියක් නම් නෙවෙයි. කාලයක් තිස්සේ මහන්සි වෙලා
තමන්ගේ බලාපොරොත්තු
මල්ඵල ගන්වාගෙන ඇය තවත් සිහිනයක් සැබෑ කරගත්තේ ඉකුත් බ්‍රහස්පතින්දාවේ. ඒ මොකක්ද කියලා මම කියනවාට වඩා හොඳයි අයෝමිගෙන්ම දැනගන්න එක. එන්න, ඒ අලුත් කටයුත්ත ගැන අයෝමිගේ වචනවලින් අහමු.
මම මගේම ආයුර්වේද මධ්‍යස්ථානයක් පටන් ගත්තා. නුවර ටවුන් එකේ සේනානායක මාවතේ තමයි ඒක පිහිටලා තියෙන්නේ. මමයි මහත්තයයි පදිංචි වෙලා ඉන්නේ නුවර.
ඒ හින්දා මේ වගේ තැනක නුවර ආරම්භ කළේ අපිට ලෙහෙසි නිසා. දොලායෝ ගැලරි ඇන්ඩ් ආයුර්වේද කියලයි මෙයට නම තබලා තියෙන්නේ. මගේ ආයුර්වේද මධ්‍යස්ථානයට අමතරව මගේ මහත්තයාගේ ඔෆිස් එකත් මෙතනම ආරම්භ කළා. එයාගේ වෘත්තීය ඉසව්ව සම්බන්ධීකරණය. වෙඩින් ඇතුළු සියලුම උත්සව සහ විවිධ වැඩසටහන් ඔහු විසින් සංවිධානය කරලා දෙනවා. ඇත්තටම කිව්වොත් වෛද්‍යවරියක් වීම මගේ පළමු හීනය. මේ මගේ දෙවැනි හීනය කියලා කියන්න පුළුවන්.
* මොන වගේ රෝග සඳහා ද ඔබ විසින් ප්‍රතිකාර ලබා දෙන්නේ?
සියලුම රෝග සඳහා මෙමඟින් බෙහෙත් හේත් ලබා දෙනවා. කෙටියෙන්ම කිව්වොත් අපගේ ආයුර්වේද මධ්‍යස්ථානය සියලු සර්වාංග රෝග සඳහා විවෘතයි.
* එතකොට රූපලාවන්‍ය කටයුතු?
ඒවත් කරනවා. මං නිළියක් හින්දා මගේ ආයුර්වේද මධ්‍යස්ථානයේ රූපලාවන්‍ය කටයුතු සිදු නොවෙනවා නම් ඒක ලොකු අඩුපාඩුවක්නේ. ඒක නිසා කුරුලෑ, සම අව පැහැ ගැන්වීම, සම රැලි වැටීම ආදී රූපලාවන්‍ය ගැටළු සඳහා නිසි ප්‍රතිකාර ලබා දෙන්න මා බලාපොරොත්තු වෙනවා.
* මෙහි ප්‍රතිකාර සඳහා ඔබ යොදා ගන්නේ ආයුර්වේද ප්‍රතිකාර පමණක්ද?
ඔව්. තනිකරම දේශීය ක්‍රමයට සැකසූ ක්‍රමෝපායන් තමයි මා භාවිත කරන්නේ. කිසිම කෘත්‍රිම බෙහෙතක් මා පාවිච්චි කරන්නේ නැහැ.
* නුවර නැතිව කොළඹට කිට්ටුව තැනක මෙය ඇරැඹියා නම් වඩා වැඩි පිරිසක් ඔබෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගෙන්වා ගන්න තිබුණා නොවේද?
මම කලින් කිව්වා වගේ අපේ පදිංචිය නුවරනෙ. අපිට පහසුයි නුවරම මේ වැඩේ ආරම්භ කරපු එක.
* ඒ වුණාට අනිත් අයට අපහසුයිනේ?
මෙහෙමයි, අවශ්‍ය කෙනාට වුවමනා නම් නුවර නෙවෙයි ඕනෑ තැනකට යනවා තමන්ගේ කාර්ය කර ගන්න. දැනටමත් මේ ගැන උනන්දුවක් තියෙනවා කියලා මට එන ඇමතුම්වලින් මට දැනෙනවා. මේ දින කිහිපය පහුවෙලා කොළඹත් මෙහි ශාඛාවක් විවෘත කරන්න හිතාගෙන ඉන්නවා.
* ඔබගේ ආයුර්වේද මධ්‍යස්ථානයෙන් පංචකර්ම ප්‍රතිකාර ක්‍රමය භාවිත කොට නීරෝගී අයටත් ප්‍රතිකාර ලබා දෙනවා කියලා දැනගන්නට ලැබෙනවා. ඒ ගැන කතා කළොත්?
මං ඔය ගැන උදාහරණයක් සහිතව පැහැදිලි කරලා දෙන්නම්. අප ශරීරය කියන්නේ මැෂින් එකක් වගේ දෙයක්. මැෂින් එකක තෙල් මාරු කරලා අලුත්වැඩියා කරනවනේ එහි ආබාධයක් ඇතත් නැතත්. ශරීරයටත් එහෙම අවශ්‍යයි. අපේ ශරීරයේ ඇති නාල පිරිසුදු කරන්නට ට්‍රීට්මන්ට් තියෙනව. ඒවායින් කරන්නේ වයසට යෑම පාලනය කරන එක. එම ප්‍රතිකාර කරන්නේ නීරෝගී අයට. නිරෝගී අය තවත් නීරෝගී වෙනවා එමඟින්.
* සුදුවෙන්න ඕනෑ කියලා කියාගෙන නිළියො එන්නේ නැති ද ඔබ ගාවට?
අපේ කෘත්‍රිම ප්‍රතිකාර නොකරන හින්දා එහෙම කියාගෙන එන අය අඩුයි. හැබැයි මං අපේ සහෝදර රංගන ශිල්පීන්ට ෆේෂල් කරලා දෙනවා ආයුර්වේද ක්‍රමයට. ඇත්තම කිව්වොත් බහුතරයක් නිළියෝ කැත වෙලා තියෙන්නේ මේකප් හින්දා. මේකප් හරියට නොදාපුවාම තියෙන ලස්සනත් නැතිව යනවා. මම නම් කියන්නේ තමන්ට ගැළපෙන විදිහට මේකප් දාන්න කියලායි.
* ප්‍රදීප් රංගන වෛද්‍යවරයකු වුණාට පසුව ඔහුගේ රසික රසිකාවෝ එනවලු බොරු ලෙඩ හදාගෙන ප්‍රදීප්ව බලන්න තියෙන වුවමනාවට. ඔබ ජනප්‍රිය කෙනෙක් නිසා ඒ වගේ තත්ත්වයක් උදා වෙලා ඇති?
මාව මුණගැහෙන්න එන අය නම් අනවශ්‍ය විදිහට කතාබහ කරනවා අඩුයි. මමත් ඉතින් පුවවන් තරම් කරුණාවෙන් කතා කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා පිටත් කරලා යවනවා. අනෙක වෛද්‍යවරියක් කියන්නේ කාර්යබහුල කෙනෙක්නේ. බෙහෙත් ගන්න එන අය දැනගෙන සිටිය යුතුයි තවත් රෝගියකුගේ කාලය විනාශ නොකර තමන්ගේ වැඩ කටයුතු හමාර කරලා පිටත් වෙලා යන්න. වාසනාවට මං දැනුවත්ව මගේ ළඟට එන්නේ ඇත්තටම රෝග තියෙන අය. මාව බලන්න බොරු ලෙඩ හදාගෙන එන අය නැති තරම්.
* අයෝමි ළඟ සිටින නිළිය අද වන විට දකින්නවත් නැහැ?
ඔබ හරි. දැන් රංගනයෙන් ටිකක් අයින් වෙලා ඉන්නේ.
* මොන ටිකක්ද? දැන් අයෝමි සම්පූර්ණයෙන්ම රංගනයෙන් ඉවත් වෙලානේ?
මං හිතනවා ආයුර්වේද මධ්‍යස්ථානයත් සමඟ වැඩිපුර ඒ ගැන හිතුවොත් හොඳයි කියලා. මොකද මෙතැන දියුණු කර ගන්නවා කියන්නේ නැවතත් මගේ රංගන කටයුතු ආරම්භ කරන්න පුළුවන් කියන එක.
* ඔබ හා චින්තක විවාහ වෙලා මේ වන විට අවුරුද්දකට වඩා වැඩියි. පුංචි පවුලට අමුත්තෙක් එන දවස තවත් පමා වේවිද?
මං හිතන්නේ ඔය ගැන තව ටික කාලෙකින් කතා කළොත් හොඳයි කියලා. අලුත් ආරංචියක් ගැන අද කතා කරපු හන්දා ඊළඟ අලුත් ආරංචිය තව ටික දවසකින් කතා කරමු.
* තවම අයෝමිට වෘත්තීය වෛද්‍යවරියක් විදිහට රෝහලකට යොමු කරලා නැහැ නේද?
අද හෙටම ඒවාට අපව යොමු කරයි. හැබැයි පත්වීම කොහෙට ලැබේවිද දන්නේ නැහැ. කොහෙට යන්න සිදු වුණත් මං ඒ පළාතට ගිහිල්ලා මිනිස්සුන්ට සේවය කරනවා.
* එතකොට ඔබේ ආයුර්වේද මධ්‍යස්ථානය?
මගේ ටීම් එක බලා ගනීවි. කොතරම් කාර්යබහුල වුණත් සතියකට සැරයක් හරි ඇවිත් එහි වැඩ කටයුතු සොයා බලනවා.
සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරූ -මාලන් කරුණාරත්න   
උපුටා ගැනීම - සරසවිය 
www.srilankamirror.com