මහින්දගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කිහිපයක්
තීරණය කර තිබේ.
ඒ සඳහා ලංකා සම සමාජ පක්‍ෂය,
කොමියුනිස්ට් පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය, මහජන පක්‍ෂය ඇතුළු පක්‍ෂ කීපයක් එකඟතාව පළකර ඇති බවත්, දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ එම ස්ථාවරයේම පිහිටා සිටින බවත්  ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා දේවි  වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම වැනි මහින්දවාදින් ද මෙම ස්ථාවරය දරයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වැඩිම උනන්දුවක් දක්වන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාය.
නව ආණ්ඩුවක් :
ඒ අනුව, එළැඹෙන මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවන බව වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි.
වත්මන් ආණ්ඩුවෙන් රටට හා ජනතාවට හානියක් සිදුවේ යැයි තමන්ට හැඟෙන බවද ඒ මහතා පවසයි.
 දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඡන්ද නොලැබීම නිසා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වූ බවට ගෙන යන ප්‍රචාරය නිසා නැවැත ජාතිවාදය ඇවිස්සීමක් වන බවද එම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බවද පවසන ඒ මහතා හිටපු ජනාධිපතිවරයාට සිංහල බෞද්ධ පළාත්වල ඡන්ද නොලැබීම ඔහුගේ පරාජයට හේතුවිණැයිද කීය.
මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳව තම පක්‍ෂවලට පූර්ණ විශ්වාසයක් ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබුණේ ඔහු යහපත් පාලනයක් ගෙන ගිය නිසා බවත් ශ්‍රී ල.නි.ප.ය වත්මන් ආණ්ඩුවට එකතු වීමට ගත් තීරණය පිළිබඳව තමන් කනගාටු වන බවත් ඒ මහතා පවසයි.
www.srilankamirror.com